ස්වභාවය

 

ගෝලීය වශයෙන්

සෑම වසරකම ලොව පුරා මිලියන 7 ක ජනතාවක් වායු දූෂණයෙන් මිය යන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු ඉහළ දූෂක අඩංගු වාතය ආශ්වාස කරනු ලබයි.

නගරවල පිටවන දුමාරයේ සිට නිවස තුළ දුම් පානය කිරීම දක්වා වූ සිදුවන වායු දූෂණය සෞඛ්‍යයට හා දේශගුණයට විශාල තර්ජනයක් වේ. එළිමහන් සහ ගෘහස්ථ වායු දූෂණයෙහි ඒකාබද්ධ ප්‍රතිඵලය සෑම වසරකම මිලියන 7 ක් පමණ නොමේරූ මරණවලට හේතු වේ. එමෙන්ම, බොහෝ දුරට ආගාතය, හෘද රෝග, නිදන්ගත බාධාකාරී පුඵ්ඵුසීය රෝග, පෙනහළු පිළිකා සහ උග්‍ර ශ්වසන ආසාදන වලින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීම ද සිදුවේ.

වායු දූෂණය අධීක්ෂණය කරනු ලබන නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සීමාවන් ඉක්මවා යන වායු ගුණාත්මක මට්ටම්වලට නිරාවරණය වී ඇති අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් ගෘහස්ථව මෙන්ම හා එළිමහනේ දීද ඉහළම වායු දූෂණයට නිරාවරණය වීමෙන් පීඩා විඳිති. (මුලාශ්‍රය: WHO)

 

ගොලීය වායු දූෂණය: මෑත කාලීන වායු තත්ත්ව දර්ශකය

චීනය

වායු දූෂණය යනු චීනයේ  බරපතලම පාරිසරික ගැටලුවකි. තවමත් එහි ප්‍රභවයන්ගෙන් 75% ක් පමණ ගල් අඟුරු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනයේ වායු දූෂණය ප්‍රධාන වශයෙන් ගල් අඟුරු දුමාරයෙන් සමන්විත වන අතර අංශු පදාර්ථ (PM) සහ සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) ප්‍රධාන දූෂක වේ. කෙසේවෙතත්, විශාල නගරවල මෝටර් රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ වායු දූෂණය සාම්ප්‍රදායික ගල් අඟුරු දහන වර්ගයේ සිට මිශ්‍ර ගල් අඟුරු දහනය / මෝටර් වාහන විමෝචන වර්ගය දක්වා ක්‍රමයෙන් වෙනස් වී ඇත. වර්තමානයේදී, චීනය වඩාත් සැලකිලිමත් වන නිර්ණායක දූෂක වන්නේ, ආශ්වාස කළ හැකි අංශු වන (PM <10 μm වායුගතික විෂ්කම්භය; PM 10), SO2 සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) වේ.

(මුලාශ්‍ර : https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2685855/)

දකුණු ආසියාව

දකුණු ආසියාවේ රෝගාබාධ සඳහා දෙවන වැදගත්ම හා අවදානම්ම සාධකය වන්නේ වායු දූෂණයට නිරාවරණය වීමයි. එය සියළුම මරණ වලින් 13% ත් 21.7% ත් අතර ප්‍රමාණයකට දායක වන අතර ආසන්න වශයෙන් මිලියන 58 ක් පමණ නිදන්ගත හා උග්‍ර ශ්වසන හා හෘද රෝගවලින් පෙළෙමින් ආබාධිත තත්වයන්ට ගොදුරුවී සිටින බව (DALYs) ගණනය කර ඇත. 2016 දී, ඉතා දූෂිතම වායු ගුණාත්මකභාවය සහිත ප්‍රධානම රටවල් 30 අතුරින් 17 ක්ම දකුණු ආසියවට අයත් රටවල් වේ. වායු දූෂණයෙහි බලපෑම සීමාවන් ඉක්මවා යමින් කාබන් එයරොසෝල් වලින් දූෂණය වීමෙන් ඇති වන “දුඹුරු වලාකුළ” යනු දකුණු ආසියාව මෙන්ම චීනය පුරා වායුගෝලීය මීදුම පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූප මගින් ග්‍රහණය කරගත් සංසිද්ධියකි. සෞඛ්‍යයට ඒවා බලපානවාට අමතරව, කළු කාබන් අංශු යනු වර්ෂාපතන රටාවන්ට සහ කලාපයේ ජල සම්පතට මෙන්ම හිමාලයානු ග්ලැසියර පද්ධතියට තර්ජනයක් වන අතර බලපෑම් කළ හැකි කෙටි කාලීන දේශගුණික දූෂකයකි.

(මුලාශ්‍ර: https://www.bmj.com/content/359/bmj.j5209)

ශ්‍රී ලංකාව

අංශු පදාර්ථ විමෝචනය වේගයෙන් ඉහළ යාම සහ වාහන ගමනාගමනයෙන් සිදුවන අහිතකර වායූන්, විශේෂයෙන් තාප විදුලි බලාගාර වලින් කාර්මික විමෝචනය, නාගරීකරණය සහ ආසියානු මහාද්වීපයෙන් වායුගෝලීය අපවිත්‍ර ද්‍රව්‍ය සංක්‍රාන්ති මායිම් ප්‍රවාහනය හේතුවෙන් ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් වායු ගුණාත්මක ගැටලු වලට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය 2011 දී ඇස්තමේන්තු කර ඇති පරිදි සමස්ත  වායු දුෂණයෙන්, 55-60% අතර ප්‍රමාණයක් මෝටර් රථ වලින් නිකුත් වන දුෂක හේතුවෙන් වන අත‍ර , කර්මාන්ත හේතුවෙන් 20-25% ක් ද, දේශීය ප්‍රභවයන් හේතුවෙන් 20% පමණද වායු දුෂණය වීම සිදු වේ .

2011 සිට පුත්තලමෙහි මෙගාවොට් 900 ක ගල් අඟුරු බලාගාරයක් සහ අනෙකුත් තාප උත්පාදන බලාගාර ඇතුළු විදුලි උත්පාදන කම්හල් ස්ථාපනය කිරීමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. තාප විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ විදුලි ඉල්ලුම ඉහළ යාම සහ ජල ධාරාව අඩුවීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩු වීමයි. වාහන සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර මෑතකදී විමෝචන පරීක්ෂණ අනිවාර්යය කර ඇතත්, ත්‍රී -රෝද රථ හා ඔටෝ රික්ෂෝ වලින් සිදුවන විමෝචනය ඉහළ යාම හේතුවෙන් විශේෂයෙන් ම නාගරික පසුබිම තුළ වාතයේ දුෂක භාවය ඉහළ ගොස් ඇත. එමෙන්ම, ආසියා මහාද්වීපයේ සිට ශ්‍රී ලංකාව දක්වා සිදුවන දුෂක වායු විමෝචනය හේතුවෙන් ලංකාවේ වායු දුෂණය ඉහළ අගයක පවතී.

පරිසරය හා දේශගුණය කෙරෙහි වැඩිවන වායු ගුණාත්මක ගැටළු වල බලපෑම සම්බන්දව ඇති දැනුම අල්පය. භුමි මට්ටමින් වායුගෝලීය සංයුතියට අහිතකර වායූන් හා අංශුවල බලපෑම පිළිබඳ මූලික අධ්‍යයනයන් මගින් භූමිය හා ජලයේ ගුණාත්මක භාවය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇත. (ඉලෙපෙරුම, සියත් සහ අනෙක් පිරිස, 20xx). වලාකුළු සෑදීම හා වර්ෂාපතනය පාලනය කිරීම සඳහා අංශුවල බලපෑම පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොමැත – බටහිර කඳු බෑවුම්වල ඉහළ ජල පෝෂක ප්‍රදේශවල වර්ෂාපතනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ (ලියොන්, සුබෙයාර්, සහ වෙනත්, 2011, සුබයිර් සහ චන්දිමාලා, 2006, වික්‍රමගමගේ) එමෙන්ම, පසුගිය දශක 3 තුළ විමෝචන වේගයෙන් ඉහළ යන යුගයකට සමපාත වේ.